President instructs officials to prepare accurate data for compensation

 අයහපත් කාලගුණ තත්ත්වය සහ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශයට පත් නිවාස හඳුනාගැනීම සහ වන්දි ලබා දීම සඳහා විධිමත් සහ කාර්යක්ෂම දත්ත රැස්කිරීමේ විශේෂ ක්‍රමවේදයක් සකසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මුදල් අමාත්‍යාංශයේ සහ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් අතර,

ආපදාවෙන් හානියට පත් නිවාස සහ වන්දි ගෙවීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.

වන්දි ලබා දීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා නිවැරදි තොරතුරු තාක්ෂණික ක්‍රමවේදයකට අනුව ලබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා,


අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට නැවත මෙවැනි ව්‍යසනයන්ට මුහුණ දීමට සිදු නොවන ආකාරයේ ස්ථිර සහ දීර්ඝකාලීන විසඳුම් ලබා දීමේ අවශ්‍යතාව ද මෙහිදී දැඩිව අවධාරණය කළේය.

දැනට සිදු කර ඇති මූලික සමීක්ෂණ දත්තවලට අනුව නායයෑම් සහ අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ නිවාස හානි 128,925ක් සහ අර්ධ නිවාස හානි 44,574ක් සිදුව ඇති බව නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් මෙහිදී අනාවරණය කරන ලදී.

මෙම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාත යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.